“නාවිකයා” සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය

නාවිකයා යෝජනා ක්‍රමය ගැන

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සමුද්‍රීය කම්කරු ප්‍රඥප්තියට අනුකූලව, වයස අවුරුදු 18 -59 අතර වෙළඳ නාවිකයින් වෙනුවෙන් හඳුන්වා දෙන විශේෂ සමාජ ආරක්ෂණ සැලසුමකි.

1971 අංක 52 දරණ වෙළඳ නැව් කටයුතු පනත සහ ඒ යටතේ ප්‍රකාශයට පත් කරනු ලබන රෙගුලාසි මගින් නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවා නියුක්ත නිලධාරීන් සහ නාවිකයින් වෙත ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදී ඇති මෙම “නාවිකයා” සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය සඳහා සාමාජිකත්වය ලබාගැනීමට අවශ්‍ය නෛතික විධිවිධාන සලසා ඇත. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් “නාවිකයා” සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය මෙහෙයවීම සිදුකරන අතර සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය මැදිහත්වීම වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලැබේ.

ඔබට හිමි සුවිශේෂී ප්‍රතිලාභ:

විශ්‍රාම ප්‍රතිලාභ

  • වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුපක්.
  • කල්පිරෙන දිනට පවතින ගිණුමේ ශේෂයට ගැලපූ විශ්‍රාම වැටුපක්.

ඔබෙන් පසුවත් පවුල සුරක්ෂිතයි

  • ඔබ විශ්‍රාමිකයකුව සිටියදී සිදුවන අභාවයකදී, කලත්‍රයාට හෝ නම්කළ උරුමකරුට විශ්‍රාම වැටුප් හිමිකම.
  • විශ්‍රාම වැටුප් ලැබීමට පෙර අභාවයකදී, අවමංගල්‍ය වියදම් ආවරණයට රු. 100,000 ක් සමඟින් කලත්‍රයට විශ්‍රාම වැටුප් හිමිකම හෝ ගෙවූ මුදල ආයෝජන ආදායම සමඟ ලබාගැනීමේ හැකියාව.

ඔබගේ තරුණ දරුවාගේ අනාගත සුභසිද්ධියට මුල්‍ය අත්වැලක්

  • දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු ඕනෑම මුල්‍ය අවශ්‍යතාවයක් සඳහා මුල්‍යමය දීමනාවක් ලබාගැනීමට අතිරේක ප්‍රතිලාභ ආවරණයක්.

අභියෝග හමුවේ නොසැලෙන රැකවරණයක්

  • පූර්ණ අබලතාවයකදී, වාරික ගෙවීමෙන් ඔබ නිදහස්! එදින සිට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප සහ රු. 500,000 ක පාරිතෝෂිකයක්
  • අර්ධ අබලතාවයකදී, රු. 100,000 ක පාරිතෝෂිකයක්

සාමාජික වාරික මුදල් ගෙවීම:

ඔබගේ සමාජ ආරක්ෂණ සාමාජික වාරික මුදල, සේවා කාලයට අදාළව ඔබගේ මාසික වැටුපට හෝ ඔබගේ නියෝජිතයා හරහා සෘජුවම ගෙවීමට ඔබගේ සේවායෝජකයා කටයුතු කරනු ඇත.
ඒ අනුව, සේවායෝජකයා ගේ දායකත්වය පහත පරිදි ගෙවනු ලබයි.

  • නාවිකයින්ට : මසකට ඇ.ඩො. 40
  • නිලධාරීන්ට : මසකට ඇ.ඩො. 50

වැටුප හරහා ගෙවීමේදී, ඔබේ පහසුවට දායක මුදල් ගෙවීම් ක්‍රම 2ක්.
සේවායෝජකයා විසින් අදාළ දායක මුදල ඔබේ මාසික වැටුපට එකතු කර ගෙවන අවස්ථාවන්හිදී, පහත ක්‍රම දෙකෙන් එකක් ඔබට තෝරාගත හැක.

  • ක්‍රමය 1: සේවා කාලය තුළදී පමණක් ගෙවීම
    ඔබ වැඩ කරන කාලය තුළ මසකට ඇ.ඩො. 40 බැගින් ගෙවීම (නිලධාරීන් සඳහා ඇ.ඩො. 50).
  • ක්‍රමය 2: වසර පුරා අඛණ්ඩව ගෙවීම
    ඔබ නිවාඩු ගත කරන කාලයද ඇතුළුව, වසරේ මාස 12 පුරාම අඛණ්ඩව මසකට ඇ.ඩො. 20 බැගින් ගෙවීම (නිලධාරීන් සඳහා ඇ.ඩො. 25).

මෙය ගෙවීම් කරන දිනට පවතින (ශ්‍රී ලංකා මහා බැංකුව විසින් දෛනිකව ප්‍රකාශයට පත්කරනු ලබන ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල) විනිමය අනුපාතයට අනුව රුපියල් (LKR) වලින් ද ගෙවිය හැකිය.
ඔබගේ දායක ගිණුම පවත්වාගෙන යාම සහ ප්‍රතිලාභ ගෙවීම් ශ්‍රී ලංකා රුපියල් (LKR) මගින් සිදු කෙරේ.

ඔබට වඩාත් ඉහළ විශ්‍රාම වැටුපක් සහ වැඩි ප්‍රතිලාභ අවශ්‍ය නම්, ඔබගේ පෞද්ගලික මුදලින් අමතර දායක මුදල් ගෙවීමක් සිදු කර මෙම සැලසුම තවදුරටත් පුළුල් කරගැනීමේ පහසුකම ද පවතී.
වාරික මුදල් ගෙවීම සඳහා ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන නම්‍යශීලී විකල්ප රැසක් හඳුන්වා දී ඇත.


වාරික මුදල ගණනය කිරීම

ඔබේ වයසට සහ ඔබට ගෙවීමට පහසු දායක මුදලට අනුව හිමිවන නිවැරදිම විශ්‍රාම වැටුප ගණනය කර බැලීම සඳහා, මාර්ගගත වාරික ගණකය භාවිතා කරන්න.

පද්ධතියට පිවිසීම

සාමාජිකත්වය ලබා ගැනීම සඳහා SSB MIS Public Enrollment පද්ධතියට පිවිසෙන්න.