“සුරැකුම” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය

සුරැකුම ගැන

වයස අවුරුදු 18 ට වැඩි සහ 59 ට අඩු රජයේ විශ්‍රාම වැටුපක් සහිත රැකියාවක නොයෙදෙන පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක වන යෝජනා ක්‍රමයකි. මේ යටතේ සාමාජික වීමට මනාප පුද්ගලයකුහට තම අවශ්‍යතාවය සහ දායක මුදල් ගෙවීමේ හැකියාව අනුව කැමති ඕනෑම ප්‍රමාණයක විශ්‍රාම වැටුපක් සකස්කර ගැනීමේ හැකියාව පවතී.

ප්‍රතිලාභ

1.1. මාසික විශ්‍රාම වැටුප

  • i. දායකයාට වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට ඔහු විසින් එකඟ වූ විශ්‍රාම වැටුපට අදාළව ගෙවිය යුතු මුදල සම්පුර්ණයෙන්ම (100%) ගෙවා ඇත්නම්, සම්පුර්ණ විශ්‍රාම වැටුප වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසිකව ගෙවීම.
  • ii. දායකයාට වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට ඔහු විසින් එකඟ වූ විශ්‍රාම වැටුපට අදාළව ගෙවිය යුතු මුදලින් 25% කට වඩා ගෙවා ඇත්නම්, ගිණුමේ පවතින ශුද්ධ ශේෂය මත පදනම්ව ගලපන ලද විශ්‍රාම වැටුපක් දායකයාගේ කැමැත්ත පරිදි මාසිකව ගෙවීම.

1.2. කලත්‍රයාට විශ්‍රාම වැටුප හිමිවීම

1.2.1. දායකයා වයස 60 ට පෙර මියයන අවස්ථාවේ දී
  • i. දායකයකුගේ මරණය වයස අවුරුදු 60ට පෙර කාලසීමාව තුළ දී සිදු වුවහොත්, මරණ පාරිතෝෂිකයට අමතරව ශුද්ධ දායක මුදල ලබාගැනීමට හෝ පහත විකල්ප අවස්ථාවන් තෝරාගත හැකිය.
  • ii. දායකයාගේ මරණය සිදුවන විට, දායකයා විසින් එකඟ වූ විශ්‍රාම වැටුප සඳහා ගෙවිය යුතු මුළු මුදලම ගෙවා ඇත්නම්, දායකයාගේ වයස අවුරුදු 60 සිට 80 දක්වා කලත්‍රයා හෝ නම්කළ උරුමකරු සඳහා මාසිකව විශ්‍රාම වැටුප ලබාගැනීමේ හැකියාව ඇත.
  • iii. දායකයාගේ මරණය සිදුවන විට, දායකයා විසින් ගෙවිය යුතු මුළු මුදලින් 75% කට වඩා ගෙවා ඇත්නම් ගලපන ලද විශ්‍රාම වැටුපක් හෝ ඉතිරි වාරික මුදල ගෙවා එකඟ වූ පුර්ණ විශ්‍රාම වැටුප දායකයාගේ වයස අවුරුදු 60 සිට 80 දක්වා කලත්‍රයා හෝ නම්කළ උරුමකරු සඳහා මාසිකව ලබාගැනීමේ හැකියාව ඇත.
  • iv. දායකයාගේ මරණය සිදුවන විට දායකයා විසින් ගෙවිය යුතු මුළු මුදලින් 25% ත් 75% අතර ප්‍රමාණයක් ගෙවා ඇති විට, ගෙවියයුතු මුදලින් 75%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් දක්වා වූ ඉතිරි වාරික මුදල් ගෙවා දායකයාගේ වයස අවුරුදු 60 සිට 80 දක්වා කලත්‍රයා හෝ නම්කළ උරුමකරු සඳහා මාසිකව විශ්‍රාම වැටුප ලබාගැනීමේ අවස්ථාව ලබාදීම හෝ
  • v. මෙවැනි අවස්ථාවකදී දායකයාගේ පසුඋරුමකරුවන් වෙත හිමි ශුද්ධ දායක මුදල යොදාගනිමින්, කලත්‍රයා හෝ පසුඋරුමකරු නමින් විශ්‍රාම සැලසුමක් ආරම්භකර ඔහු/ ඇය නමින් විශ්‍රාම සැලසුම පවත්වාගෙනයමින් සාමාන්‍ය පරිදී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ හිමි ප්‍රතිලාභ ලබාගැනීම.
1.2.2. දායකයා වයස 60 ත් 80ත් අතර තුර මියයන අවස්ථාවේදී

දායකයා විශ්‍රාමිකයෙකු ලෙස (වයස අවුරුදු 60 ත් 80 අතර) අවුරුදු 80 සම්පූර්ණ වීමට පෙර ජීවිතය අහිමි වුවහොත්,

  • i. කලත්‍රයා හෝ දායකයා විසින් නම්කළ අයකු සඳහා, දායකයාගේ වයස අවුරුදු 80 වන තෙක් මාසිකව විශ්‍රාම වැටුප හිමි වේ.
  • ii. කලත්‍රයා හෝ නම්කළ අයකු නොමැති නම් දායකයා නමින් තැන්පත්ව ඇති ශුද්ධ දායක මුදල හා පොලිය දායකයාගේ පසු උරුමකරුවන්ට ආපසු ලබාගත හැකිය.

1.3. මරණ පාරිතෝෂික

  • i. විශ්‍රාම ලැබීමට (වයස අවුරුදු 60 ට පෙර) පෙර මරණයට පත්වන දායකයකු වෙනුවෙන් අවමංගල්‍ය වියදම් ආවරණය කිරීමට ඕනෑම වයස් ඛණ්ඩයක් සඳහා රුපියල් 100,000.00 ක මුදලක් ගෙවනු ලැබේ.

1.4. ස්ථිර අර්ධ අබලතා ප්‍රතිලාභ

  • i. රුපියල් 100,000.00 ක මුදලක් අර්ධ අබලතා පාරිතෝෂික ලෙස ලබාදෙනු ලැබේ.
  • ii. ඉහත පාරිතෝෂික මුදල සමඟ ශුද්ධ දායක මුදල පොලිය ද සමඟ ලබාගනිමින් යෝජනා ක්‍රමයෙන් ඉවත්වීම හෝ පාරිතෝෂික මුදල පමණක් ලබාගෙන අඛණ්ඩව වාරික මුදල් ගෙවීමෙන් වයස අවුරුදු 60 සිට ගිවිසගත් විශ්‍රාම වැටුප ලබා ගැනීමේ හැකියාව පවතියි.
  • iii. අබලතාවය සිදුවන අවස්ථාව වන විට ගෙවිය යුතු මුදලින් 25% කට වඩා ගෙවා ඇත්නම්, ඉදිරියට වාරික ගෙවීම් සිදු කිරීමකින් තොරව දායකයාට වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා ගිණුමේ පවතින ශේෂය මත පදනම්ව ගලපන ලද විශ්‍රාම වැටුපක් දායකයාගේ කැමැත්ත පරිදි මාසිකව ලබාගැනීමේ හැකියාව ඇත.

1.5. ස්ථිර පුර්ණ අබලතා ප්‍රතිලාභ

  • i. විශ්‍රාම ලැබීමට පෙර දායකයා ස්ථිර පුර්ණ අබලතාවයකට පත්වුවහොත් එකවර ගෙවනු ලබන රු.500,000.00 ක පුර්ණ අබලතා පාරිතෝෂිකයක් සහ අබලතාවයට පත් වු දින සිට ජීවිතාන්තය දක්වා ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුපක් ලබාගත හැක. මෙවැනි අවස්ථාවකදී දායකයා විසින් ඉදිරියට ගෙවිය යුතු වාරික මුදල් මණ්ඩලය විසින් දරනු ලැබේ.

1.6. දරුවන් සඳහා අතිරේක මුල්‍ය ප්‍රතිලාභ ආවරණය

දායකයන්ගේ දරුවන් හෝ දායකයන් විසින් භාරකාරීත්වය දරණ දරුවන් සඳහා ප්‍රතිලාභ ලැබිය හැකි අතිරේක ආවරණයක් (Optional Cover) විශ්‍රාම වැටුප් සැලසුම හා සම්බන්ධ කරගැනීම සඳහා පහත පරිදි හඳුන්වාදෙනු ලැබේ.

1.6.1. අන්තර්ගත ප්‍රතිලාභ

මෙම අතිරේක ආවරණය යටතේ දරුවන්ට අධ්‍යාපන කටයුතු හා ඊට අදාළ වියදම් ආවරණය කරගැනීම ඇතුළු ඕනෑම මුල්‍ය අවශ්‍යතාවක් සඳහා මුල්‍යමය දීමනාවක් ලබාගැනීමේ හැකියාව ඇත. එළෙස ලබාගත හැකි ප්‍රතිලාභ සිමාව දායකයාගේ ගෙවීමේ හැකියාව අනුව තීරණය කිරීමේ හැකියාව ඇත. ඒ අනුව,

  • i. දරුවන්ගේ වයස අවුරුදු 18 ත් 29 අතර කාලසීමාව තුළ අනුයාත වසර 5 ක කාලයක් මාසික දීමනාවක් ලෙස ලබාගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ප්‍රතිලාභ ලබාගැනීම ආරම්භ කරනු ලබන වසරේ සිට අනුයාත වසර 5 තුළ වාර්ෂිකව වර්ධනය වන මාසික ප්‍රතිලාභයක් ගෙවනු ලැබේ.
  • ii. දරුවන්ගේ වයස අවුරුදු 18 ත් 29 අතර කාලසීමාව තුළ අනුයාත වසර 5 ක කාලයක් වාර්ෂික දීමනාවක් ලෙස ලබාගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ප්‍රතිලාභ ලබාගැනීම ආරම්භ කරනු ලබන වසරේ සිට අනුයාත වසර 5 තුළ වාර්ෂිකව වර්ධනය වන ප්‍රතිලාභයක් ගෙවනු ලැබේ.
  • iii. දරුවන්ගේ වයස අවුරුදු 18 ත් 29 අතර කාලසීමාව තුළ එකවර දීමනාවක් ලෙස ලබාගැනීමේ හැකියාව ඇත.
  • iv. මාසිකව, වාර්ෂිකව හෝ එකවර මුදලක් ලෙස යන කවර හෝ ආකාරයක ප්‍රතිලාභ ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රතිලාභ ආවරණය ලබාගත් දායකයකු පසුව එසේ ගිවිසගත් ප්‍රතිලාභ ලබාගැනීම වෙනත් ආකාරයකින් ලබාගැනීමට ඉල්ලුම් කරන්නේ නම් ගිණුමේ ශේෂය අනුව ගැලපීම් කර ප්‍රතිලාභ ගෙවීමට කටයුතු කරනු ලැබේ.
1.6.2. දායකත්වය සඳහා සුදුසුකම්
  • i. මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාම වැටුප් නව සුරැකුමේ දායකයන් සඳහා පමණක් දායකයන්ගේ දරුවන් හෝ දායකයන් විසින් භාරකාරීත්වය දරණ දරුවන් සඳහා මෙම ආවරණය ලබාගත හැකිය.
  • ii. දරුවාගේ වයස ඊළඟ උපන්දිනට අවුරුදු 1ත් 15ත් අතර වයසේ විය යුතුය.
1.6.3. වාරික මුදල
  • i. මේ සඳහා දායකයන් විසින් අතිරේක වාරික මුදලක් ගෙවිය යුතුය. අතිරේක ආවරණය අවශ්‍යතාව අනුව ඕනෑම වටිනාකමකින් ද දරුවන් සඳහා වෙන් වෙන් වශයෙන්ද ලබා ගැනීමේ හැකියාව ඇත.
  • ii. දරුවාගේ වයස අවුරුදු 18 දී අපේක්ෂිත ප්‍රතිලාභ වටිනාකම මත පදනම්ව වාරික මුදල අයකරනු ලබයි. දරුවාගේ වයස 18 සිට 29 දක්වා ප්‍රතිලාභ අයදුම් කිරීමේ හැකියාව ඇත.
  • iii. දායකත්වය සක්‍රීයව පවතින අවස්ථාවක භාරකරුගේ අභාවයකදී හෝ ස්ථිර පුර්ණ අබලතාවයකදී, වාරික ගෙවීම් නතර වන නමුත් ඉදිරි වාරික ගෙවීමකින් තොරව ගිවිසගත් ප්‍රතිලාභ එළෙසම ලබාගැනීමේ හැකියාව ඇත.
  • iv. අතිරේක ආවරණය සඳහා ගෙවීම් නතර වන අවස්ථාවකදී, ඒ දක්වා ගෙවන ලද ශුද්ධ දායක මුදල් ආපසු ගෙවනු ලැබේ. ප්‍රමාද පොලී ගාස්තුවක් නොමැතිව, අවම වශයෙන් රු.50,000 ක් හෝ මුළු වාරිකවලින් 25% ක් ගෙවා තිබිය යුතුය.
  • v. දරුවාගේ වයස අවුරුදු 18 දක්වා වාරික මුදල් ගෙවිය හැකි වේ.
  • vi. මෙම ආවරණය ලබාගත් දායකයකු වාරික ගෙවීමේදී, සෑම විටම දායකයාගේ විශ්‍රාම වැටුප් සැලසුමට අදාළ වාරික මුදල ආවරණය කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරනු ලැබේ.
  • vii. දායකයාගේ විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කිරීම සඳහා අතිරේක ආවරණය වෙනුවෙන් කළ ගෙවීම්, අවශ්‍ය අවස්ථාවන්වලදී දායකයාගේ ඉල්ලීම මත ඔහුගේ/ඇයගේ විශ්‍රාම වැටුප් සැලසුමට බැර කිරීමේ හැකියාව ඇත.

6.7. විශ්‍රාම සැලසුම සඳහා නව වාරික ගෙවීම් කළ හැකි ආකාරයන්

සාමාජිකයින්ට විශ්‍රාම සැලසුම සඳහා වාරික ගෙවීම සඳහා පහත ආකාරයන්ට අනුව වාරික ගෙවීම් හැකියාව ඇත.

  • i. එකවර මුදල් මුදල් ගෙවීම.
  • ii. මාසික වාරික වශයෙන් ගෙවීම (සාමාජිකත්වය ලද දින සිට වයස අවුරුදු 59 සම්පුර්ණ වන තෙක්)
  • iii. කාර්තුමය වාරික වශයෙන් ගෙවීම (සාමාජිකත්වය ලද දින සිට වයස අවුරුදු 59 සම්පුර්ණ වන තෙක්)
  • iv. වසර දෙකක් තුළ මාසික (24), කාර්තුමය වාරික (8) සහ වාර්ෂික වාරික (2) කින් ගෙවීම.
  • v. වසර තුනක් තුළ මාසික (36), කාර්තුමය වාරික (12) සහ වාර්ෂික වාරික (3) කින් ගෙවීම.
  • vi. වසර හතරක් තුළ මාසික (48), කාර්තුමය වාරික (16) සහ වාර්ෂික වාරික (4) කින් ගෙවීම.
  • vii. වසර පහක් තුළ මාසික (60) , කාර්තුමය වාරික (20) සහ වාර්ෂික වාරික (5) කින් ගෙවීම.
  • viii. වසර දහයක් තුළ මාසික (120), කාර්තුමය වාරික (40) සහ වාර්ෂික වාරික (10) කින් ගෙවීම.
  • ix. වසර පහළොවක් තුළ මාසික (180), කාර්තුමය වාරික (60) සහ වාර්ෂික වාරික (15) කින් ගෙවීම.